Tuesday, January 10, 2012

මගේ දිනපොත........

මේක කියවන අය අතරින් කී දෙනෙක් දිනපොත් පාවිච්චි කරනවාද කියල නං නන්නාඳුනන්නි දන්නෙ නෑ. ඒත් නන්නාඳුනන්නි නං අවුරුදු 10 විතර කාලෙ ඉඳන් ම දිනපොත් පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියා. නන්නාඳුනන්නි ඩයරි එකක් එහෙම නැත්තම් දිනපොතක් පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් ම කාලෙ (5 වසරෙදි) ලියන්න එච්චර දේවල් තිබුණෙ නැති නිසා අනාගතේ සිද්ද වෙයි කියලා හිතෙන දේවල් අතීත කාලෙන් ලිව්වා. (හරියට මායාවරුන් අනාගතේ ගැන ලිව්වා වගේ. හැබැයි නන්නාඳුනන්නි ලිව්වෙ මෑත අනාගතය ගැන මිසක් ඈත අනාගතය ගැන නෙමෙයි.)

දිනපොත් ගැන ලියන්න හිතුණට පස්සෙ නන්නාඳුනන්නි පොඩ්ඩක් හොයලා බැලු‍වා මේ ගැන. ඉංග්‍රීසියෙන් දිනපොතට diary  වගේ ම journal කියලත් පාවිච්චි කරනවා. diary එකක් කියන්නෙ දිනපතා ලියන එකක්. ඉතිං ඒ විදියට බැලුවොත් මුල් කාලෙ ඩයරි ලියපු නන්නාඳුනන්නි පහු පහු වෙනකොට journals ලියන්න පටන් ගත්තා. නන්නාඳුනන්නි කොහේ හරි කියවලා තියෙනවා දිනපොතක් ලියනවා කියන්නෙ තමන්ගෙ ඉතිහාසය ලියනවා වගේ වැඩක් කියලා. (කවුරු හරි අපේ ඉතිහාසය ගැන උනන්දු වෙනවා නං.....) 

මේ දිනපොත් පාවිච්චි කරන පුරුද්ද හා හිතට දැනෙන හැම දෙයක් ම වගේ ම සිද්ද වෙච්ච හැම දෙයක් ම දිනපොත්වල සටහන් කරන පුරුද්ද නිසා නන්නාඳුනන්නි සෑහෙන්න අකරතැබ්බවලට මූණපාලා තියෙනවා. කොහොමින් කොහොමින් හරි නන්නාඳුනන්නි හා හා පුරා කියලා කුළුඳුලේ පටන් ගත්ත ප්‍රේමයටත් කණකො‍කා ඇඬුවෙ මේ ඩයරි කෙරුවාව හින්දා තමයි. ඒත් ඒවයින් සැලෙන්නෙ නැතුව එක ඩයරි එකක් රාජසන්තක වූ වහාම නන්නාඳුනන්නි කරන්නෙ ආයෙත් අළුතින් පටන් ගන්න එක. මුලින් මුලින් සිංහල ඉංග්‍රීසි ආදී භාවිතයේ තියෙන භාෂාවලින් ලියැවුනු සටහන් පසුකාලීන ඩයරිවල දී සංඥා භාෂා බවට පරිවර්තනය වෙලා තිබුණා. (ඒ නිසා මද මන්දා ඒවා රාජසන්තක නොවී තාම තියෙනවා. ඒත් වැඩේ කියන්නෙ ඒවා ලියන්න  පාවිච්චි කරපු  භාෂා දැන් භාවිතයේ නොමැති මළ හාෂා බවට පත් වෙලා නිසා නන්නාඳුනන්නිටවත් තමන්ගෙ සටහන් කියව ගන්න බෑ. හරි අපරාදයක්)

මුල් කාලෙ දී අවුරුද්දට එක දිනපොතක් පාවිච්චි කළත් පස්සෙ ඒ පුරුද්ද මග ඇරුණා. ඊට පස්සෙ නන්නාඳුනන්නි කළේ එක ම ජර්නල් එකක් අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරපු එක. ඒක දැනට අවුරුදු 5කට විට උඩ දී පටන් ගත්ත එකක්. පිටු 10කට 15 කට වඩා ලියලා නෑ. ඇත්තට ම ඒක ජර්නල් එකකට වඩා වැඩි දෙයක් නන්නාඳුනන්නි ගිය තැන් ගැන විස්තර අරවා මේවා ඔක්කොම ලියලා. පොලොන්නරුවෙ මියුසියම් එකේ ටිකට් වගයකුත් අලවලා. හරියට ස්ක්‍රැප් බුක් එකක් වගේ. 

ඉතිං ඔන්න මෙච්චර කාලයක් තිස්සෙ පරිස්සම් කරගෙන හිටපු මේ රහස් පුස්තකය අද මාට්ටු. නන්නාඳුනන්නි හිතට එන හැම දෙයක් ම ලියපු ජර්නලය අද රාජසන්තක වෙලා. දැන් ඉතිං මොනවා කරන්නද? කරපු කියපු හැම දෙයක් ම සාක්කිත් එක්ක. (හොඳ වෙලාවට නම් ගම් නෑ. සංකේත නාම විතරයි) නන්නාඳුනන්නි බාල වයස්කාරියක් නෙමෙයි. ඉතිං ඇයි එයාට කියලා පුද්ගලිකත්වයක් තියා ගන්න බැරි? 

දැන් මොකද කරන්නෙ? හෙටම අලුත් ජර්නල් එකක් අරන් ලියන්න පටන් ගන්නවද? නැත්නම් ඔන්ලයින් ජර්නල් එකක් ලියනවද? නැත්තම් ඒ දෙක ම අමතක කරලා දාලා නිකං ඉන්නවද? කියන්න බලන්න.............

13 comments:

වින්චැට්කිරිල්ලි. said...

මගේ ඩයරිය තමා මගෙ හිත....මට ඈත අතීතයේ දේවල් මතකයි..විශ්වාස කරන්න මේක ඇත්තමයි මම කියන සමහර සිද්දීන් අහල අම්මල කියනව ඒ සිදුවීම් උනේ මට වයස මාස 18 වගේ කාලෙදි කියල..අම්මා බනිනවා වෙලාවකට ඕව කියන්න එපා කියල...අනික් වැදගත්ම කාරනය තමා මට ඉහත ආත්මෙ සමහර සිදුවීම් මතකයි....මම පුංචි කාලෙදි ගොඩාක් කියල තියනව ඉහත ආත්මෙ සිදුවීම් ගැන..අම්මලා ඒවා මගෙන් මග ඇරවල, අමතක කරවල, එයාල කැමති නැතුව ඇති ඒවා මට මතක තියනවට...ඒත් මතකයන් දෙක තුනක් තාමත් හිතේ තියනවා..

ඔයාගෙ ගෙදර අය ඔයාගෙ ඩයරිය තහනම් කරන එක ගැන මගෙ නම් කොහෙත්ම කැමැත්තක් නැහැ..ඔයා ලොකු ලමයෙක්,ඔයාගෙ පුද්ගලිකත්වය ඔයාට තියෙන්න ඕනෙ...එයාලට ඒක පැහැදිලි කරන්න..ඔයා ඩයරියක් තියාගන්න...

මා ගාව ඩයරියක් තියනව ඒක මගෙ ඔෆිස් වැඩ වලට විතරයි........

Pradeep Gunarathna said...

ඔයා ඔන්ලයින් ලියන්න...

Anonymous said...

ඔන්ලයින් ලියන්න..

බට්ටි said...

මම නම් ඩයරි පාවිච්චි කරන්නේි අය වැය ලියන්න විතරයී. මාසේ පඩිය වියදම් වුන හැටි ලියනවා. එකතු කරන්න මේ මාසේ කොයි තරම් පුළුවන්ද කියලා මාසේ මුල ලියනවා. ඒ ඩාර්කට් එකට ඒමාසේ යන්න ඩයිරිය උදව් වෙනවා. වෙන දේවල් ලියලා නෑ. හැබැයී මම සංකේත භාවිතය ගැන නම් හුගක් දන්නවා. යාළුවෝ පාවිච්චි කලා.
මට හිතෙන්නේ ඒකෙන් මිදිලා ජීවත් වෙන්න. මිනිස්සුන්ගේ දුර්වලතැන් අනික් අයට දැන ගන්න හොද මෙවලමක් ඩයිරිය. ඒකයී මම එහෙම කියන්නේ.

Anonymous said...

ඉතිං ඔන්ලයින් ලියන්න..

නන්නාඳුනන්නී said...

@ වින්චැට් කිරිල්ලී
මම එහෙම පැහැදිලි කරලා දෙන්න යන කෙනෙක් නෙමෙයි. අනික් අය කියන දේවල් අහගෙන ඔහේ ඉන්නවා. මම දන්නවා ඒක හරිම දුර්වලකමක් කියලා. ඒත් මට ඒකෙන් මිදෙන්න බෑ..

නන්නාඳුනන්නී said...

@Pradeep, Ano, Ano
ඔන්ලයින් ලියන එකත් හොඳ වැඩක් තමයි. ආරක්ෂිතයි. ඒත් එහෙම ලියනකොට මට ඇත්තම ඩයරියක් ලියනවා වගේ හැඟීමක් ඇති වෙන්නෙ නෑ. ඒකත් හරියට ඇත්තම පොතක් කියවනවයි ඊ බුක් එකක් කියවනවයි වගේ තමයි.

නන්නාඳුනන්නී said...

@ බට්ටි
හරියට හරි බට්ටි. දුර්වල තැන් අඳුනගන්න හොඳ මෙවලමක්!! ඒත් මට ඒක නැතුව බෑ වගේ.

සිහින මතකයන් said...

අනේ මන්ද...මටත් පුංචි දවස් වල ඉඳල ඔයවගේ දිනපොතක් ලියන්න ආසවක් තිබුන.ඒත් ලිව්වෙ නැහැ.ඒ....ලියන සමහර දේවල් දැනට නැතත් අනාගතයට ප්‍රශ්න වෙන්න පුලුවන් කියල හිතුන.තාමත් අදහසක් තිබුනත්, මේ ලිපිය දැක්කම හිතුන ලිව්වොත් කවදහරි ප්‍රශ්න වෙයි කියල.දැන් දිනපොත් ලියන අදහස අතහැරල තියෙන්නෙ...

මම හිතන්නෙ ඔයානම් ආයෙ දිනපොතක් ලියයි කියල.ඔව්..ඔව්..ඔයානම් අයෙ ලියයි තමයි...මම හරි නේද යාළු???...

නන්නාඳුනන්නී said...

@සිහින මතකයන්
අනේ ඔව් මට දිනපොතක් නැතුව බෑ වගේ... නැත්නම් කොහොමද මට හිතෙන දේවල් එලියට දාන්නෙ. පොඩි කාලෙ කළා වගේ සංකේත පාවිච්චි කරලා හරි මම දිනපොතක් ලියනවා.

හිතුවක්කාරි said...

මමන්ම් ඩයරි පාවිච්චි කරන්නෙ නෑ.. ඒත් වැදගත් මොකක්හරි ලියන්න නම් එහෙන් මෙහෙන් හම්බුනු ඩයරියක් තියන් ඉන්නව.ඒත් පුරුද්දක් ව්ඉදියට ලියන්නෙ නෑ...

ප්‍රාර්ථනා said...

මම හැමදාම ඩයරියේ ලියන්නේ නෑ.. ඒත් අවුරුඩු 8ක් තිස්සේ පාවිච්චි කරන එක පොතක් තියෙනවා. ඒක ඇතුලේ තමා මගේ මුළු ජීවිත කථාවම තියෙන්නේ.,. වැඩිය ලියන්නේ නෑ.. හිතට වැදුන ඒවාඅහුවුන පිටුවක ලියනවා.. එක එක තැන් වල දින දාලා .. එහෙම තමයි මගේ ඩයරි ලියවිල්ල.. හෙ හෙ
අදමයි මේ පැත්තේ ආවෙ.. ආයෙමත් එනවා.. ජය වේවා

වර්ෂා.. said...

මට කවදාවත් එක දිගට ඩයරියක් ලියන්න බැහැ.ලියන්න ගත්තාම ආවේස වෙලා වගේ දවස් ගණන් ඩයරිය ලියනවා.ලියා තියෙන දේවල් හිතට අල්ලන්නෙ නැති වෙච්ච ගමන් ඩයරියේ පිටු ටික ඉරල විසි කරනව.මෙච්චර කල් නම් පොත් විස්සකට තිහකට ඒ දේ වෙලා තියෙනව.මගෙ නං ඉතින් වයසෙ වැරැද්ද වෙන්නැති.ඒ වුණාට අපරාදෙ අම්මයි තාත්තයි හම්බුකරන සල්ලි!

Post a Comment

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers