Tuesday, January 10, 2012

මගේ දිනපොත........

මේක කියවන අය අතරින් කී දෙනෙක් දිනපොත් පාවිච්චි කරනවාද කියල නං නන්නාඳුනන්නි දන්නෙ නෑ. ඒත් නන්නාඳුනන්නි නං අවුරුදු 10 විතර කාලෙ ඉඳන් ම දිනපොත් පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියා. නන්නාඳුනන්නි ඩයරි එකක් එහෙම නැත්තම් දිනපොතක් පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් ම කාලෙ (5 වසරෙදි) ලියන්න එච්චර දේවල් තිබුණෙ නැති නිසා අනාගතේ සිද්ද වෙයි කියලා හිතෙන දේවල් අතීත කාලෙන් ලිව්වා. (හරියට මායාවරුන් අනාගතේ ගැන ලිව්වා වගේ. හැබැයි නන්නාඳුනන්නි ලිව්වෙ මෑත අනාගතය ගැන මිසක් ඈත අනාගතය ගැන නෙමෙයි.)

දිනපොත් ගැන ලියන්න හිතුණට පස්සෙ නන්නාඳුනන්නි පොඩ්ඩක් හොයලා බැලු‍වා මේ ගැන. ඉංග්‍රීසියෙන් දිනපොතට diary  වගේ ම journal කියලත් පාවිච්චි කරනවා. diary එකක් කියන්නෙ දිනපතා ලියන එකක්. ඉතිං ඒ විදියට බැලුවොත් මුල් කාලෙ ඩයරි ලියපු නන්නාඳුනන්නි පහු පහු වෙනකොට journals ලියන්න පටන් ගත්තා. නන්නාඳුනන්නි කොහේ හරි කියවලා තියෙනවා දිනපොතක් ලියනවා කියන්නෙ තමන්ගෙ ඉතිහාසය ලියනවා වගේ වැඩක් කියලා. (කවුරු හරි අපේ ඉතිහාසය ගැන උනන්දු වෙනවා නං.....) 

මේ දිනපොත් පාවිච්චි කරන පුරුද්ද හා හිතට දැනෙන හැම දෙයක් ම වගේ ම සිද්ද වෙච්ච හැම දෙයක් ම දිනපොත්වල සටහන් කරන පුරුද්ද නිසා නන්නාඳුනන්නි සෑහෙන්න අකරතැබ්බවලට මූණපාලා තියෙනවා. කොහොමින් කොහොමින් හරි නන්නාඳුනන්නි හා හා පුරා කියලා කුළුඳුලේ පටන් ගත්ත ප්‍රේමයටත් කණකො‍කා ඇඬුවෙ මේ ඩයරි කෙරුවාව හින්දා තමයි. ඒත් ඒවයින් සැලෙන්නෙ නැතුව එක ඩයරි එකක් රාජසන්තක වූ වහාම නන්නාඳුනන්නි කරන්නෙ ආයෙත් අළුතින් පටන් ගන්න එක. මුලින් මුලින් සිංහල ඉංග්‍රීසි ආදී භාවිතයේ තියෙන භාෂාවලින් ලියැවුනු සටහන් පසුකාලීන ඩයරිවල දී සංඥා භාෂා බවට පරිවර්තනය වෙලා තිබුණා. (ඒ නිසා මද මන්දා ඒවා රාජසන්තක නොවී තාම තියෙනවා. ඒත් වැඩේ කියන්නෙ ඒවා ලියන්න  පාවිච්චි කරපු  භාෂා දැන් භාවිතයේ නොමැති මළ හාෂා බවට පත් වෙලා නිසා නන්නාඳුනන්නිටවත් තමන්ගෙ සටහන් කියව ගන්න බෑ. හරි අපරාදයක්)

මුල් කාලෙ දී අවුරුද්දට එක දිනපොතක් පාවිච්චි කළත් පස්සෙ ඒ පුරුද්ද මග ඇරුණා. ඊට පස්සෙ නන්නාඳුනන්නි කළේ එක ම ජර්නල් එකක් අවුරුදු ගානක් තිස්සෙ පාවිච්චි කරපු එක. ඒක දැනට අවුරුදු 5කට විට උඩ දී පටන් ගත්ත එකක්. පිටු 10කට 15 කට වඩා ලියලා නෑ. ඇත්තට ම ඒක ජර්නල් එකකට වඩා වැඩි දෙයක් නන්නාඳුනන්නි ගිය තැන් ගැන විස්තර අරවා මේවා ඔක්කොම ලියලා. පොලොන්නරුවෙ මියුසියම් එකේ ටිකට් වගයකුත් අලවලා. හරියට ස්ක්‍රැප් බුක් එකක් වගේ. 

ඉතිං ඔන්න මෙච්චර කාලයක් තිස්සෙ පරිස්සම් කරගෙන හිටපු මේ රහස් පුස්තකය අද මාට්ටු. නන්නාඳුනන්නි හිතට එන හැම දෙයක් ම ලියපු ජර්නලය අද රාජසන්තක වෙලා. දැන් ඉතිං මොනවා කරන්නද? කරපු කියපු හැම දෙයක් ම සාක්කිත් එක්ක. (හොඳ වෙලාවට නම් ගම් නෑ. සංකේත නාම විතරයි) නන්නාඳුනන්නි බාල වයස්කාරියක් නෙමෙයි. ඉතිං ඇයි එයාට කියලා පුද්ගලිකත්වයක් තියා ගන්න බැරි? 

දැන් මොකද කරන්නෙ? හෙටම අලුත් ජර්නල් එකක් අරන් ලියන්න පටන් ගන්නවද? නැත්නම් ඔන්ලයින් ජර්නල් එකක් ලියනවද? නැත්තම් ඒ දෙක ම අමතක කරලා දාලා නිකං ඉන්නවද? කියන්න බලන්න.............

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers