Friday, December 9, 2011

අපි ඇත්තට ම ඉන්නවද?

නන්නාඳුනන්නි අද ලියන්න යන්නෙ කාලයක් තිස්සෙ හිතේ තිබුණු දෙයක්. මෑතක දී නන්නාඳුනන්නි බලපු චිත්‍රපටියක් නිසා කාලයක් තිස්සෙ අමතක වෙලා තිබුණු මේ අමුතු තාලෙ සිතුවිල්ල ආයෙත් එළිපහළියට ආවා. 
මේ අපූරු චිත්‍රපටිය Marc Erlbaum විසින් අධ්‍යක්ෂණය කරන ලද Cafe (2011).  ඉතාම කෙටියෙන් චිත්‍රපටිය සාරාංශගත කළොත්, එක ම පසුතලයක දිවෙන මේ සිදුවීම් මාලාවට සම්බන්ධ වෙන සියලු ‍ම දෙනා, වෙනත් කෙනෙක් විසින් ව්‍යාජ ලෙස මවන ලද අය. ඒ කියන්නෙ මේ සිදුවීම්වලට සම්බන්ධවන අය, Computer programer කෙනෙක් විසින් නිර්මාණය කරන ලද virtual චරිත. මේ අය සම්බන්ධ කරගෙන සිද්ධ වෙන හැම දෙයක් ම පාලනය කරන්නෙ programer. ඉතිං ඔන්න ඔය  විදියට තමයි චිත්‍රපටිය යන්නෙ...

‍මේ චිත්‍රපටිය බලන කොට නන්නාඳුනන්නිට හිතුණා අපිත් කවුරු හරි නිර්මාණකරුවෙකුගේ හිතේ මැවිච්ච චරිත වෙන්න බැරිද කියලා. ඇත්තට ම අපි කොහොමද දන්නෙ අපි ජීවත් වෙනවා කියලා. අපි කොහොමද  දන්නෙ අපි යථාර්ථවත් කියලා. අපි කොහොමද දන්නෙ අපි සැබෑ  මිනිස්සු ගැහැණු කියලා. අපි එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි කාගෙ හරි හිතේ ඇඳුන චරිත විතරක් නම්... අපි මොකක් හරි පොතක හරි චිත්‍රපටියක හරි එන චරිත නොවෙන්නත් බැරි කමක් නෑ නේද? එහෙමත් නැත්නම් කමකට නැති programmer කෙනෙක් නිකං විනෝදෙට වගේ හදපු චරිත වෙන්නත් පුළුවන් නේද?
නන්නාඳුනන්නි මේ හදන්නෙ මහා මැවුම්කරුවා කියන දේවවාදී සංකල්පය අවධාරණය කරන්න නෙමෙයි. ඒත් අපි වෙනත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද චරිත කියන එකයි, මහා මැවුම්කරුවා කියන සංකල්පයයි අතර සමානකමක් නැත්තෙමත් නෑ නේද? හරි කෙසේ හෝ වේවා, නන්නාඳුනන්නි හිතන විදියට (නන්නාඳුනන්නි විශ්වාස කරන විදියට) අපි තව කෙනෙකුගේ හිතේ මැවිච්ච චරිත විතරක් නං ( අනේ එය එසේ ම වේවා.) ඇයි අපි ජීවිතේ අපිට ඕනෑ විදියට හැඩ ගස්වා ගන්න හදන්නෙ? අපිට ඒක කරන්න බෑ. අපිට කරන්න පුළුවන් වෙන්නෙ මොනවද කියලා බලා ඉන්න එක විතරයි හොඳයි නැද්ද?


9 comments:

Anonymous said...

ලස්සන සංකල්පයක්....

ඔයා කියපු විදිහ ට අපි ට අපේ ජීවිතය ආදේශ කරන්න පුළුවන් මං හිතන්නේ...
දෛවය තමයි ඒ මැවුම්කරුවා. එයා ට අවශ්‍ය විදිහ ට තමයි අපේ ජීවන කතාව ලියවෙන්නේ...... :)

නන්නාඳුනන්නී said...

එයාට ඕනෑ විදියට ලියවෙනවා නං අපි ජීවිතේ පාලනය කරන්න උත්සාහ කරන එක වැඩකට නැති දෙයක් නේද? :)

නන්ඳු said...

අනේ මන්දා.. මටත් ඔය විදිහට හිතුණා..

මේ ෆිල්ම් එක මං බලලා නැහැ.. ස්තූතියි මේ ගැන කිව්වට.. :)

Pathum Punchihewa said...

දන්නවද සහෝදරී, ඔයා ඔය සරලව කතා කරපු දේම ඔයා ඉපදෙන්න යුග ගණනාවකට කලින් හිටි දාර්ශනිකයෙක් වන බර්ක්ලේ ප්‍රකාශ කලා "ද්‍රව්‍යමය සත්තාවට හෝ කාලයට සහ අවකාශයට ස්වාධීන පැවැත්මක් තියෙනවාද නැද්ද" කියන මතය විදියට. ඒ වගේම අරාබි ආගමික දර්ශනයත් ඔය කථාවට ලඟින් යනවා. ඒ කියන්නේ "මැවුම්කාර හස්තය" වෙන දේවල් ඔක්කොම තීරණය කරලා තියෙන්නේ. මේ මතවාදයේ තියෙන අපූරු දේ තමයි හිතන්න ඔයා හිතනවා ඔයාගේ ජීවිතේ සම්බන්ධයෙන් ඔයා තමයි තීරණ ගන්නේ කියලා. ඒත් සමහරවිට ඔයා කථා පොතක ඉන්න ලස්සන කුමාරිකාව නම් එහෙම ඔයාගේ ස්වාධීන හිතීමත් වෙන කෙනෙක් ලියපු දෙයක්. මම දන්නවා මේක ඔළුව තෝන්තු වෙන කථාවක් කියලා. ඒත් පෝස්ට් එක දැක්කහම මට මේ ටික නොකියා බැරි වුනා :) පුළුවන් නම් හොයාගෙන කියවන්න යුස්ටයින් ගෝඩර් ගේ "Sophie's World" . ඒක පරිවර්තනය වෙලා තියෙනවා සිංහලට "සොෆීගේ ලෝකය" කියලා. ජය...
~හිපියා

නන්නාඳුනන්නී said...

@හිපියා
ස්තූතියි තොරතුරුවලට. ඇත්තටම ඒක ඔලුව තෝන්තුවෙන කතාවක් නං තමයි. මම පොතක ඉන්න චරිතයක් වෙන්න පුළුවන්. ඒත් කුමාරිකාවක් නං නෙමෙයි

Unknown said...

නන්නාඳුනන්නී කියන දේම මටත් හිතුනා "inception" කියන චිත්‍රපටිය බැලුවම.අපි ඉන්නේ යථාර්ත ලෝකයකද එහෙමත් නැත්තම් අතථ්‍ය ලෝකයකද කියලා මම මගෙන්ම ප්‍රශ්න කළා.කොහොමවුණත් වෙනස් අදහසක්...:)

The තරුවා said...

තාමනම් බලලා නෑ මේක...ටොරන්ට් පැත්තෙ ගිහින් අදම දාන්න ඕනි මේක...ස්තූතියි

නන්නාඳුනන්නී said...

@ වවුලා ඒ කියන්නෙ මං වගේ අය තවත් ඉන්නවා. මං හිතුවෙ මේ ඔල්මොරොන්දන් මට විතරයි කියලා

නන්නාඳුනන්නී said...

@ තරූ :)

Post a Comment

Powered by Blogger.

වැඩියෙන් ම කියවපු ඒවා

Followers